මෙරට මුහුදු සීමාවට ආසන්නයේ තිබූ ඉරාන යුද නෞකාවට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව මින් පෙර මෙරටට දැනුවත් කර නොතිබූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ විසින් කිසිදු දැනුම්දීමක් මෙරටට සිදු නොකළ බවය.
අමාත්‍යවරයා පැවසුවේ යම් රටවල් දෙකක් අතර පවතින යුදමය තත්ත්වය මත යම් රටක් විසින් තවත් රටකට ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එම ප්‍රහාරයට පෙර තවත් තුන්වැනි රටකට දැනුම්දීමක් සිදු නොකරන බවත් එය එසේ කරයිද යන්න තමන් නොසිතන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"රටවල් දෙකක් යුද්ධ කරද්දි එක රටක් අනික් රටට ගහනවායි කියලා තව තුන්වැනි රටකට කියයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා එහෙම කියලා තිබුනේ නෑ. මම දන්නේ නැහැ නාවික හමුදාවට නිශ්චිත තොරතුරු ලැබුණේ කොහොමද කියලා. නමුත් ඒ කලාපයේ මෘත දේහ ප්‍රමාණයක් සහ යම් ජීවිතාරක්ෂක ජැකට් කිහිපයක් පාවෙනවා කියන තොරතුර මත තමයි අපේ මැරිටයිම් සෙන්ටර් එකට පණිවිඩය ලැබිලා තිබුණේ.
32ක් එතන ජීවිත් වෙලා හිටියා තවත් ප්‍රමාණයක් අතුරුදන් වෙලා තිබුණා. මෘත ශරීර කිහිපයක් අපි හොයාගෙන තිබුණා. නිශ්චිතව පණිවිඩය ආවේ කොහෙන්ද කියලා මට හරියටම කියන්න බැහැ."