ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ  වාර්ෂික  ඇසළ මහා පෙරහර මංගල්‍යය සංවිධානය කිරීම සඳහා වන පෙරහර කමිටු රැස්වීම පසුගියදා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. මෙවර ඇසළ උළෙලේ අවසන් මහා රන්දොලි පෙරහැර  ජුලි 29 දින පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථකව, විධිමත්ව හා ආරක්ෂිතව පැවැත්වීම සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. එසේම  එක් එක් ආයතනවලට  පෙරහර ආශ්‍රිත  වගකීම් බෙදා දීමට  අවශ්‍ය පියවර  ගැනීමද මෙම  මූලික සාකච්ඡාවේ විශේෂ අරමුණක් විය.

එමෙන්ම කිරිවෙහෙර  ප්‍රධාන මාර්ගය ඇතුළු පිළිසකර කළ යුතු මාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු  කරමින් , දිරාපත් වූ ගස් ඉවත් කිරීමත්, බැතිමතුන්ගේ ආරක්ෂාව වර්ධනය කිරීම පිළිබඳවත්, සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්,  සාකච්ඡා විය.

රුහුණු මහා කතරගම දේවාලයේ  බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මදුශංක මහතා විසින් අවසන් මහා රන්දෝලි පෙරහර පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු සිව්මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති අතිපූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ, මහසෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය පඩව්ගම ජිනානන්ද ස්වාමීන් වහන්සේ, වැඩසිටි කන්ද විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද වැඩම කළහ.