පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් විසි දෙකක් අවශ්‍ය වුවද දැනට වෛද්‍යවරුන් පස්දෙනකු පමණක් සේවය කරන බව වාර්තා වේ. ඒ හේතුවෙන්  වෛද්‍යවරුන්,රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය රෝහල සඳහා පැමිණෙන රෝගීහුද දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මාස හයක පමණ කාලයක සිට මෙම රෝහලේ රුධිර පරීක්ෂණාගාරය අක්‍රිය වී ඇත. රෝගීන්ගේ ලේ සාම්පල් පරීක්ෂාව සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද රෝහල් ප්‍රකාශයෙකු පැවසීය.

වැලිකන්ද ප්‍රාදේශීය රෝහල සඳහා කාර්ය මණ්ඩලය හතළිහක් අවශ්‍ය වුවද දැනට සේවය කරනු ලබන්නේ දොළහක පමණ කාර්ය මණ්ඩල යක් බැවින් තමන් දැඩි අසිරුතාවයට පත්ව ඇති බව සේවකයෝ සඳහන් කරති.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29ක පවුල්,40,000 කට ආසන්න සංඛ්‍යාවක් පදිංචි වී සිටිති. 

වැලිකන්ද ප්‍රදේශයේ බහුල වශයෙන් වන අලි ප්‍රහාර, හදිසි අනතුරු සියදිවි හානි කර ගැනීම්, බාල අපචාර ක්‍රියා මෙන්ම හදිසි තත්ත්වයන් ඇතිවන හෙයින් රෝගින්ට අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වන බවද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරති.