තවදුරටත් පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකා තේ
කර්මාන්තයට සහ වැවිලි ප්රජාවට ඇති විය
හැකි ආර්ථික හා සමාජීය බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා වන සාකච්ඡාවක් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේදී
පැවැත්විණි. ඒ අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙනි.
මැදපෙරදිග
කලාපය ශ්රී ලංකා තේ සඳහා ප්රධාන අපනයන වෙළඳපොළකි. එම කලාපයේ තවදුරටත් පවතින අස්ථාවර තත්ත්වය
හේතුවෙන් තේ අපනයනට බලපෑම් එල්ල වෙයි. එමගින් වෙළඳ කටයුතු, ප්රවාහන වියදම් සහ
විදේශ විනිමය ආදායමට ඇති විය හැකි බලපෑම් ගැන මෙහිදී සාකච්ඡා කෙරුණි. එසේම අපනයනකරුවන් සහ තේ කර්මාන්තකරුවන්ට වන
බලපැම් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා
කෙරිණි.
තේ කර්මාන්තය
ආශ්රිතව ජීවත් වන වැවිලි ප්රජාවගේ ආදායම්, රැකියා සුරක්ෂිතභාවය සහ ජීවනෝපාය
මට්ටමට මෙම තත්ත්වය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡාව
සඳහා ශ්රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා තේ පර්යේෂණ
ආයතනය, තේ අපනයනකරුවන් මෙන්ම ක්ෂේත්රයේ අදාළ
නිලධාරීන්ද එක්වූහ.