බුත්තල - මාලිගාවිල පුරාවිද්‍යා උරුම පරිශ්‍රය ආශ්‍රිත උරුම කළමනාකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

පසුගියදා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට අනුව භුමියේ සිදු කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකටද ආණ්ඩුකාරවරයා සහභාගි වීමෙන් පසුව මෙම සාකච්ඡාව පැවැත්විනි. එහිදී, දැනට පවතින රථවාහන අංගනය වෙනුවට නවීකරනය කරන ලද රථවාහන අංගනයක් ඉදිකිරීම , පුරාවිද්‍යා රක්ෂිතය හරහා ඇති මාර්ගය වෙනුවට විකල්ප මාර්ග හදුන්වාදීම, මෙහි තිබෙන ආරාම සංකීර්ණයක නටබුන් සහ සාක්ෂි ඉදිරියටත් පුරාවිද්‍යාත්මක කැනීම් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම, ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාව ආදි කරුණු පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට මහාසංඝරත්නය, වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමන් , ඌව පළාත් සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්තුමන් , බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.