මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපල රාජසන්තක කිරීම කඩිනම් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
නීතිමය කටයුතු අවසන්ව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමේදී යම් කාලයක් ගත වන බැවින් එම දේපල අත්හිටුවීම සදහා ක්‍රියාවිරහිත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මත්දව්‍ය ජාවාරම මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි කී ඒ මහතා ජනවාරි 13 වන දින සිට මේ දක්වා ජාවාරම්කරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවේය. විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් 2146ක් පුනරුත්තාපනයට යොමු කර ඇතැයි කී අමාත්‍යවරයා, අධිකරණ නියෝග මත පුනරුත්තාපනය කිරීමට අමතරව දෙමාපියන්ට සිය දරුවන් ස්වෙච්ඡාවෙන් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට අවස්ථාව
ලබා දී ඇතැයි ද පැවසුවේය.
පුනරුත්තාපන මධ්‍යස්ථාන ප්‍රමාණය සීමාසහිත
ව පවතින නිසා පවතින මධ්‍යස්ථාන ප්‍රමාණය ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ නංවන බවත් මහනුවර හන්දෙස්සේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යස්ථානයට අමතරව තවත් පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම 608ක් වන පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව කී විජේපාල මහතා 10 000ක් පමණ නිලධාරීන් සම්පූර්ණ කරන බවත් ඒ අනුව උසස්වීම් ආදිය ද ඊට සමගාමීව ලබා දෙන බව ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පාර්ශවයන්ට සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහභාගීවූ නිලධාරීන් සඳහා විශේෂ මුදල් ත්‍යාග අප්‍රසිද්ධියේ ලබා දෙන බවත් ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා දෙන පාර්ශවයන්ගේ රහස්‍යභාවය සුරක්ෂිත කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තවදුරටත් පැවසුවේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් ද මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.