2014 වර්ෂයේදී හාලිඇල  උණගොල්ල වතුයායේ, මොරගොල්ල ප්‍රදේශයේ සිදු වූ විශාල නායයෑමෙන් පවුල් 72ක් දැඩි ලෙස අවතැන් විය. එතැන් පටන් වසර ගණනාවක් තිස්සේ අඩාල වී තිබූ ඔවුන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය, වත්මන් රජයේ සෘජු මැදිහත්වීම මත කඩිනමින් නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ සඳහා වන අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා එක් විය.

එවකට පැවති ක්‍රමවේදයන්හි දුර්වලතා සහ විවිධ දුෂ්කරතා හේතුවෙන් ප්‍රතිලාභීන්ට නිසි පරිදි නිවාස ඉදිකර ගැනීමට නොහැකි වූ අතර, ඇතැම් පවුල් නිවාස අත්තිවාරම්වලට පමණක් සීමා වීම නිසා දැඩි ලෙස අසරණව සිටියහ.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ,  "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වැඩපිළිවෙළට සමගාමීව ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට මේ වන විට තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් මිලියන 62.3ක පිරිවැයකින් යුතුව ක්‍රියාත්මක කළ වැඩසටහනේ පළමු අදියර යටතේ සම්පූර්ණ නිවාස 24ක ඉදිකිරීම් කටයුතු මේ වන විට වහල මට්ටම දක්වා  අවසන් කර තිබේ. එමෙන්ම, විවිධ හේතූන් මත ගරා වැටී සහ අසම්පූර්ණව පවතින ඉතිරි නිවාස 30 සඳහා රුපියල් මිලියන 60.7ක වියදමින් දෙවන අදියරේ ඉදිකිරීම් ද නුදුරේදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම සහ කඩිනමින් නිම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය ලබා ගැනීමට ද සාකච්ඡා කර තිබේ. මීට සමගාමීව නිවාසලාභීන්ට අවශ්‍ය විදුලි පහසුකම් දැනටමත් ලබා දී ඇති අතර, ඔවුන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස රුපියල් මිලියන 5.9ක වියදමින් නව ජල ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නැංවීමට නියමිතය.